Wednesday, June 10, 2015

සෑම දෙයක්ම සිදුවන්නේ දෙවියන්ගේ අභිමතය පරිදි නම් මිනිසාට දඬුවම් දීම සාධාරණ වේද ?





කර්මය (ඉරණම) විශ්වාස කිරීම නිසා මෙවැනි ප්‍රශ්න මතුවේ. කර්මය විශ්වාස නොකළේ නම් වෙනත් විදිහේ ප්‍රශ්න මතු විය හැක.

සෑම මිනිසෙකුම ජීවත්වෙන්නේ තමන්ගේ අභිමතය පරිදිය. මෙහි දෙවියන්ගේ මැදිහත් වීමක් නොමැති බව විශ්වාස කළහොත් ඉහත සඳහන් කල ප්‍රශ්නය මගහරවා ගත හැකිය. නමුත්, මේ ආකාරයෙන් බැලූවිට දෙවියන් යනු දුර්වල, කිසිදෙයක් කිරීමට නොහැකි කෙනෙකු ලෙස පෙනී යෑමට  ඉඩ තිබේ.

'සිදුවූ දෙය' , 'සිදුවෙමින් පවතින දෙය' සහ 'සිදුවීමට ඇති දෙය' සියල්ලක්ම දැන සිටීම යනු දෙවියන්ගේ ගුණාංගයකි.

හෙට දින ඔබ කොළඹ ඒමට සූදානම් වී සිටී. මෙය අද දෙවියන්ට දන්නවාදැයි ප්‍රශ්නයක් නැගූ විට 'නැත' යනුවෙන් ඔබ පැවසුවේනම් එවැන්නෙකු දෙවියෙකු ලෙස පිළිගතයුතු නැත. හෙට දින සිදුවන දෙය අද මම කෙසේ නොදනිම් ද, එසේම දෙවියන්ද නොදන්නා බව පෙනී යයි.

හෙට දින ඔබ කොළඹ එන බව අදම දෙවියන්ට දන්නවා යැයි මදකට සිතමු. සිදුවීමට යන දෙය කුමක්දැයි දෙවියන් දැන සිටීද, එය සිදුවිය යුතුමය. හෙට දින සිදුවන්නේ කුමක්දැයි දෙවියන් දනීද එය පමණයි ඔබට කල හැකි වන්නේ මිසක් ඊට අඩුවෙන් හෝ වැඩියෙන් කිසිවක් ඔබට කිරීමට නොහැකිය යන පිළිතුරත් මෙහි අඩංගු වේ.

එනම් හෙට දින සිදුවීමට ඇති දෙය දෙවියන් දනී යැයි ඔබ විශ්වාස කළහොත් කර්මය පිලිබඳ විශ්වාසයත් එහි අඩංගු වේ.

ඔහුට නොදන්නවා යැයි විශ්වාස කළහොත් එවැනි දෙවියෙකු අනවශ්‍ය බව පෙනී යයි. මෙම මත දෙකෙහිම සියුම් ගැටළු පවතී.

මෙම හේතුව නිසා නබි (සල්) තුමාණන් " කර්මය පිළිබඳව පමණක් විවාද නොකරන්න. ඔබට පෙර විසූ මිනිසුන් විනාශයට පත්වූයේ කර්මය පිලිබඳ ව විවාද කල නිසාවෙනි." යනුවෙන් පැවසුවේය. 
                                                                      මූලාශ්‍රය: (අහමද් 6381)

ඉස්ලාම් ආගමේ සංකල්ප, සිද්ධාන්ත, නීති රීති පිලිබඳ අසනු ලබන ඕනෑම ප්‍රශ්නයකට තාර්කික පිළිතුරු ඉස්ලාමයේ සඳහන් වේ. කර්මය පිලිබඳ ව පමණක් වාද විවාද කිරීම නබි (සල්) තුමාණන් තහනම් කළ බැවින් ඊට එහා කිසිවෙකුට එය විග්‍රහ කල නොහැක. එසේ විග්‍රහ කිරීමට ආරම්භ කලේ නම් ඉහත සඳහන් කල මත දෙකේ කුමක් හෝ එක මතයක ගැටළු තුල සිරවීමට සිදුවනු ඇත.

තාර්කික මෙන්ම බුද්ධිමත් සංකල්ප, සිද්ධාන්ත දහස්ගානක් ලබාදුන් දෙවියන් විසින් අපව පරීක්ෂා කිරීමට වුවද මෙවැනි දෙයක් සිදු කළා විය හැකිය.

එසේම අනිකුත් ආගම් වල කර්මය පිලිබඳ දරන අදහස් මෙන් ඉස්ලාම් ආගම කර්මය පිලිබඳ අදහස් දරන්නේ නැත.

සෑම දෙයක්ම කර්මය අනුව සිදුවේ. එම නිසා රැකියාවක් නොකරනු! ලෙඩ වුවහොත් බෙහෙත් නොකරනු! යනුවෙන් ඉස්ලාම් නොපවසයි.

එසේම සිදු වූ දේ පිළිබඳව පමණක් කර්මය විශ්වාස කරන ලෙස ඉස්ලාම් මග පෙන්වයි. සිදු නොවූ දේ පිලිබඳ කර්මයක් නොමැති නම් අප කෙසේ  කරම්ද, ඒ ආකාරයෙන් ක්‍රියා කරන ලෙස මග පෙන්වයි. එනම් උත්සහ කරන ලෙස කියයි.

එම නිසා ඉස්ලාම් පවසන ආකාරයට කර්මය විශ්වාස කළහොත් මිනිසාගේ දියුණුවට එම විශ්වාසය අබ ඇටයක තරම්වත් බාධකයක් වන්නේ නැත.

එමෙන්ම කර්මය විශ්වාස කිරීමෙන් මිනිසාට ඇතිවන යහපත් ප්‍රතිපල පිලිබඳ ව බැලුවේ නම් එම නිසා වත් කර්මය විශ්වාස කිරීම මිනිසාට යහපත ගෙන දේ.

යම් මිනිසෙකු තමන්ගේ උපරිම ශක්තිය යොදා යම් කාර්යයක නිරත වේ. එම කාර්යයෙන් ඔහු පරාජය වුවා යැයි සිතමු.

කර්මය විශ්වාස කරන්නා "අපි කෙතරම් උත්සහ කලත් දෙවියන්ගේ තීරණයකුත් තිබෙනවා නොවේද" යැයි පවසා පසු දිනයේදීම සාමාන්‍ය තත්වයට පත්වෙයි.

ඔහු කර්මය විශ්වාස නොකරන්නෙක් ලෙස සිතමු. "කෙතරම් උත්සහ කරලත් එම කාර්යය ඉටු වුයේ නැත" යනුවෙන් සිතමින්ම ඔහු මානසික අසහනයකට ගොදුරු වේ. මෙසේ නොවුනත් ඔහු පියවි තත්වයට පත්වීම මදක් දුෂ්කර වෙයි.

ඔබගෙන්  වැරදී ගිය දෙය ගැන ඔබ දුක් නොවී සිටීමටද, (අල්ලාහ්) ඔබට ලබා දුන් දෙය ගැන ඔබ උඩඟු නොවී සිටීමටද, (මෙය ඔබට දැනුම් දෙන්නේය). අල්ලාහ් උඩඟු වී  ආඩම්බර බස් දොඩන්නන් සියල්ලන්වම ප්‍රිය කරන්නේ නැත. (අල්-කුර්ආන්  57:23). 

කර්මය විශ්වාස කිරීමෙන් යහපත් ප්‍රතිපල දෙකක්ම අත්වන බව ඉහත වැකියෙන් අල්ලාහ් පවසයි. අපට මිල මුදල් , දේපල , වස්තූන් අල්ලාහ් විශාල වශයෙන් ලබා දුන්නේ නම් ආඩම්බරකමක් , උඩඟු බවක් ඇතිවේ.

කර්මය විශ්වාස කිරීම නිසා මෙම මානසික අසහනයෙන් මිදිය හැක.

මෙම දේපල , වස්තූන් සියල්ලක්ම අපට ලැබුනේ අල්ලාහ්ගේ කර්මයට අනුකූලව මිසක් අපගේ මැදිහත් වීමකින් නොවේ, යනුවෙන් සිතූ විට ආඩම්බරකම හා උඩඟුකම උන් හිටි තැනින් අතුරුදහන් වේ.

එසේම දරාගැනීමට නොහැකි, අසීරු ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවුයේ නම් අපගේ සිත සසල වේ. දවස් ගණන් මෙන්ම සමහරක් විට මාස ගණන් ද අපට වෙන කිසිම කාර්යයක නිරත වීමට නොහැකි ලෙස මනස ව්‍යාකූල වෙයි. මෙම මානසික අසහනයද කර්මය පිළිබඳව විශ්වාස කිරීම මගින් නැතිවේ.

"අපට කල හැක්කේ කුමක්ද? අල්ලාහ්ගේ තීරණය එපමණයි" යනුවෙන් සිතූවිට ඉතා ඉක්මනින් ඔහුට සාමාන්‍ය තත්වයට පත්විය හැකිය.

ඉහත සඳහන් කල යහපත් ප්‍රතිපලවල් දෙකම කර්මය විශ්වාස කිරීම මගින් මිනිසාට අත්වන බව ඉහත වැකියෙන් අල්ලාහ් පවසයි.

සමහරුන් "සියල්ලක්ම සිදුවන්නේ කර්මයට අනුකූලවයි" යැයි පවසා නැමදුම් කිරීම අතපසු කරයි. "අප යහපත් පුද්ගලයන් වෙයි" යැයි කර්මයේ සඳහන් වේ නම් අප උත්සහ නොකරම යහපත් පුද්ගලයන් වෙයි.එසේම "අපි අයහපත් පුද්ගලයන් යැයි" කර්මයේ ලියවී තිබේ නම් අප උත්සහ කිරීමෙන් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව සිතයි.

කර්මය විශ්වාස කල යුතුයි යනුවෙන් පවසන දෙවියන් ම උත්සහ කරන ලෙසත් පවසා ඇති බව ඔවුන් අමතක කරයි. එසේම ඔහු සත්‍යවශයෙන්ම නැමදුම් නොකර සිටින්නේ කර්මයට අනුකූලව නම් ඔහු සෑම දෙයක් පිළිබඳව ම මෙවැනි පිළිවෙතක් ගත යුතුයි.

කෙනෙක් යහපත් පුද්ගලයෙක් වෙයිද? අයහපත් පුද්ගලයෙක් වෙයිද? යන්න පමණක් කර්මයේ සඳහන් නොවේ. මෙලොවේ කෙනෙකුට ලැබෙන මුදල්, වස්තූන්, තනතුරු මෙන්ම දුක, ප්‍රශ්න සියල්ලක්ම ලැබෙනුයේ කර්මයට අදාලව බවයි ඉස්ලාම් පවසන්නේ.

නැමදුම් නොකිරීමට හේතුව කර්මය බව පවසන පුද්ගලයා මුදල් සම්බන්ධයෙන්ද ගත යුත්තේ එවැනි ක්‍රියා පිළිවෙතක් නොවේද?

තමන්ට කර්මයට අනුව මුදල් කීයක් ලැබීමට තිබේද, එය ඒ අනුව තමන්ට ලැබේ යැයි සිතා ඔහු කරන රැකියාවෙන් අස්වෙන්නේ නැත.නමුත් මුදල් සොයා යයි. සෙවීමට උත්සහ කරයි. මෙම පිළිවෙත නැමදුම් කිරීම කෙරෙහිත් බලපාන බව සිතන්නේ නැතිවීම ඔහුගේ දෙබිඩි පිළිවෙත පෙන්නුම් කරයි.

එමනිසා, කර්මය පිලිබඳ වාද විවාද නොකර, මිනිසුන්ට නොතේරෙන  දේවල්ද අල්ලාහ් තබා ඇත යනුවෙන් තීරණය කර, කර්මය විශ්වාස කිරීමෙන් ඇතිවෙන යහපත් ප්‍රතිපල  ගැන සිතා කර්මය විශ්වාස කිරීම මිනිසාට යහපත ගෙන දේ.


No comments:

Post a Comment