Monday, June 15, 2015

786 භාවිත කල හැකිද?


නියුමරෝලජි (Numerology) කලාවේ ඉංග්‍රීසි අක්‍ෂර සඳහා අංක භාවිත කරනු ලබයි. එසේම අරාබි භාෂාවේ අක්‍ෂර සඳහාත් සමහරු අංක භාවිත කළහ. (උදා: අලිෆ් 1, බේ 2, ජීම් 3, දාල් 4).

ඉහත සඳහන් කල ආකාරයට "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යන වාක්‍යයේ අංක සියල්ල එකතු කලේ නම් 786 ලැබේ. "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යන වාක්‍යයට කෙටි යෙදුමක් ලෙස මෙම 786 ඉලක්කම භාවිත කරනු ලබයි.

ඉස්ලාමීය සංකල්පයට අනුව මෙය පිළිගත නොහැකි සිද්ධාන්තයකි. හේතුව නම් අංක කවරම දාකවත් අක්‍ෂර විය නොහැකිය. "අස්සලාමු අලෛකුම්" යැයි කියනු වෙනුවට 238 යැයි පැවසුවේ නම් මෙය කිසිම කෙනෙකු පිළිගන්නේ නැත.

යම් කෙනෙකු 6666 වාක්‍යයන් අඩංගු ශුද්ධවූ අල් කුරානය පාරයනා කරනු වෙනුවට එහි අක්‍ෂරයන්ට අංක ආදේශ කර එහි එකතුව පැවසුවේ නම් ඔහු අල්  කුරානය පාරායනය කළා යැයි සලකන්නේ නැත. (අල් කුර්ආන් වාක්‍යයන්ගේ එකතුව පිලිබඳ විවිධ මත පවතී). එසේම 786 ලෙස පැවසුවේ හෝ ලියුවේ නම් ඔහු "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යැයි පැවසුවා හෝ ලියුවා ලෙස සලකන්නේ නැත.

786 යන සංඛ්‍යාව "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යන වාක්‍යය පමණක් සංකේතවත් නොකරයි. වැරදි අදහස් තිබෙන වාක්‍යයන්ද සංකේතවත් කිරීමට ඉඩ තිබේ. "හරේ ක්‍රිෂ්ණා" යන වචන දෙකට අංක ආදේශ කර බැලුවෙනම් එහි එකතුවද 786 වේ.

අබ්දුල් ගෆූර් යැයි කතා කිරීම වෙනුවට 618 යැයි කතා කලේ නම් එම නම අයත් පුද්ගලයා එයට කැමති වන්නේ නැත. එය එසේ නම් සර්ව බලධාරී අල්ලාහ් තආලාගේ ශුද්ධ වූ නමට මෙසේ අංක ආදේශ කිරීම අල්ලාහ් දෙවියන්ව අපහාස කිරීමට සමාන වේ.

අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමයන් ඒ අයුරින්ම ලිවීම තමයි නියම මුස්ලිම් වරයකුට යහපත වන්නේ. අන්‍ය ආගමිකයන්ගේ අතට පත් වූයේ නම් මෙහි ශුද්ධ භාවය නැතිවේ යනුවෙන් පවසන මත පිළිගත නොහැකි දෙයකි.

හේතුව, 

කාෆිර් වරයෙකුව සිටි කාන්තාවකට ඉස්ලාමය වැළඳ ගන්නා මෙන් සුලෛමාන් නබි තුමා ආරාධනා කර යැවූ ලිපියේ ආරම්භයේම "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" ලෙස සඳහන් කල බව ශුද්ධ වූ අල් කුරානය පවසයි.                                                                                                                                                                (අල් කුර්ආන් 27:30)

අති උත්තම මුහම්මද් නබි (සල්) තුමාණන් පවා බොහෝ රජවරුන්ට යැවූ ලිපිවල ආරම්භයේම "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යනුවෙන් සඳහන් කර තිබේ.
                                                                        (බුහාරි 7, 2941, 4553)

එසේ හෙයින් අපද සෑම විටකදීම "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යනුවෙන් මුළුමනින්ම ලිවිය යුතුය.

No comments:

Post a Comment