Saturday, June 27, 2015

ජින්වරුන්ව වශී කල හැකිද?



ජින් පරිච්ඡේදය දින 40ක් නොකඩවා පාරායනය කලේ නම් ජින්වරුන්ව වශී කල හැකි බව සමහර ආලිම් වරු පවසයි.

ජින් නමැති පරිච්ඡේදය ඇති වා සේ අලියා, කුහුඹුවා, මීමැස්සා, මකුළුවා, ගවයා, මිනිසා, කාන්තාව යනාදී පරිච්ඡේදයන් ද අල් කුරානයේ සඳහන් වේ.

ඉහත පවසූ පරිච්ඡේදයන් පාරායනය කිරීම මගින් ඔවුන්ව වශී කල හැකිද? එම පරිච්ඡේදයට ජින් යැයි නම ලැබුනේ එහි ජින්වරු පිලිබඳ සඳහන් වන බැවිනි. එම නම ලැබුනේ ජින්වරු වශී කල හැකි නිසා නොවේ.

ජින්වරුන් යනු මිනිසා මෙන් බුද්ධිමත් හා මිනිසාට වඩා බලසම්පන්න ජීවී කොට්ඨාශයකි. බුද්ධිමත් බවින් හා අධික බලසම්පන්න බවින් යුක්ත ජින්වරුන්ව ඔවුන්ට වඩා බලයෙන් අඩු ජීවී කොට්ඨාශයක් කෙසේ නම් වසඟ කල හැකිද?

ජින්වරුන්ව සර්ව බලධාරී අල්ලාහ් තආලා විසින් සුලෛමාන් (අලෛ) ට වශී කර දෙනු ලැබිණි. මෙය විශේෂ සුදුසුකමක් බව අල්ලාහ් පවසයි. මෙමගින් වෙනත් කිසිවෙකුට ජින්වරුන්ව වශී කල නොහැකි බව තේරුම් ගත හැකිය.

තවද සුලෛමාන්ට සුළඟ වසඟ කර දුන්නෙමු. එහි උදේ ගමන මාසයක දුරකද, එහි සවස් ගමන මාසයක දුරකද වශයෙන් තිබුණි. තවද උණුවූ තඹහි උල්පතක් (වතුර මෙන්) අපි ඔහු වෙනුවෙන් ගලා බසින්නට සැලැස්සුවෙමු. තම දෙවියන්ගේ අනුමැතියට අනුව ඔහුට වැඩ කර දිය හැකි ජින්වරුන්ව ද (අපි ඔහුට වසඟ කර දී, ඔහුට අවනත වී කටයුතු කිරීමෙහි) ඔවුන්ගෙන් කවුරුන් අපගේ නියෝගයන් ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දළු ලා දැවෙන (නිරා) දඬුවම විඳින ලෙස සලස්වන්නෙමු (යැයි කීවෙමු). (තවද) ඒවා (ජින් ආදිය) සුලෛමාන් කැමති වූ නමදුම් පොලවල්ද, පිළිරුද, ජල තටාකයන් වැනි ඉමහත් ජල බේසම් ද, සෙලවීමට නොහැකි විශාල බඳුන් ද සාදමින් සිටියේය. දාවුද්ගේ දරුවනි! කෘතඥ වීම පිණිස (දැහැමි) ක්‍රියාවන් කරමින් සිටිනු. මාගේ වහලුන්ගෙන් කෘතඥ වන්නේ
 අල්පයකි (යැයි කීවෙමු).
(අල් කුර්ආන් 34: 12,13)

සුලෛමාන් නබි තුමාට සේවය කලේ නැතිනම් නිරයේ දමා වේදනා විඳින්නට සලවන්නෙමු යනුවෙන් අල්ලාහ් පැවසු නිසාම ජින්වරුන් සුලෛමාන් නබි තුමාට අවනත වී සේවය කළහ. අනික් මිනිසුන්ට අවනත වන මෙන් හෝ සේවය කරන මෙන් දෙවියන් ජින්වරුන්ට කිසිම නියෝගයක් නිකුත් කලේ නැත. 

එම නිසා මෙය සුලෛමාන් නබි තුමාට දෙවියන් ලබා දුන් සුවිශේෂ සුදුසුකමකි. පොදුවේ කිසිම කෙනෙකුට ජින්වරුන්ව වශී කල නොහැක.



0 Read More »

Monday, June 15, 2015

786 භාවිත කල හැකිද?


නියුමරෝලජි (Numerology) කලාවේ ඉංග්‍රීසි අක්‍ෂර සඳහා අංක භාවිත කරනු ලබයි. එසේම අරාබි භාෂාවේ අක්‍ෂර සඳහාත් සමහරු අංක භාවිත කළහ. (උදා: අලිෆ් 1, බේ 2, ජීම් 3, දාල් 4).

ඉහත සඳහන් කල ආකාරයට "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යන වාක්‍යයේ අංක සියල්ල එකතු කලේ නම් 786 ලැබේ. "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යන වාක්‍යයට කෙටි යෙදුමක් ලෙස මෙම 786 ඉලක්කම භාවිත කරනු ලබයි.

ඉස්ලාමීය සංකල්පයට අනුව මෙය පිළිගත නොහැකි සිද්ධාන්තයකි. හේතුව නම් අංක කවරම දාකවත් අක්‍ෂර විය නොහැකිය. "අස්සලාමු අලෛකුම්" යැයි කියනු වෙනුවට 238 යැයි පැවසුවේ නම් මෙය කිසිම කෙනෙකු පිළිගන්නේ නැත.

යම් කෙනෙකු 6666 වාක්‍යයන් අඩංගු ශුද්ධවූ අල් කුරානය පාරයනා කරනු වෙනුවට එහි අක්‍ෂරයන්ට අංක ආදේශ කර එහි එකතුව පැවසුවේ නම් ඔහු අල්  කුරානය පාරායනය කළා යැයි සලකන්නේ නැත. (අල් කුර්ආන් වාක්‍යයන්ගේ එකතුව පිලිබඳ විවිධ මත පවතී). එසේම 786 ලෙස පැවසුවේ හෝ ලියුවේ නම් ඔහු "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යැයි පැවසුවා හෝ ලියුවා ලෙස සලකන්නේ නැත.

786 යන සංඛ්‍යාව "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යන වාක්‍යය පමණක් සංකේතවත් නොකරයි. වැරදි අදහස් තිබෙන වාක්‍යයන්ද සංකේතවත් කිරීමට ඉඩ තිබේ. "හරේ ක්‍රිෂ්ණා" යන වචන දෙකට අංක ආදේශ කර බැලුවෙනම් එහි එකතුවද 786 වේ.

අබ්දුල් ගෆූර් යැයි කතා කිරීම වෙනුවට 618 යැයි කතා කලේ නම් එම නම අයත් පුද්ගලයා එයට කැමති වන්නේ නැත. එය එසේ නම් සර්ව බලධාරී අල්ලාහ් තආලාගේ ශුද්ධ වූ නමට මෙසේ අංක ආදේශ කිරීම අල්ලාහ් දෙවියන්ව අපහාස කිරීමට සමාන වේ.

අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමයන් ඒ අයුරින්ම ලිවීම තමයි නියම මුස්ලිම් වරයකුට යහපත වන්නේ. අන්‍ය ආගමිකයන්ගේ අතට පත් වූයේ නම් මෙහි ශුද්ධ භාවය නැතිවේ යනුවෙන් පවසන මත පිළිගත නොහැකි දෙයකි.

හේතුව, 

කාෆිර් වරයෙකුව සිටි කාන්තාවකට ඉස්ලාමය වැළඳ ගන්නා මෙන් සුලෛමාන් නබි තුමා ආරාධනා කර යැවූ ලිපියේ ආරම්භයේම "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" ලෙස සඳහන් කල බව ශුද්ධ වූ අල් කුරානය පවසයි.                                                                                                                                                                (අල් කුර්ආන් 27:30)

අති උත්තම මුහම්මද් නබි (සල්) තුමාණන් පවා බොහෝ රජවරුන්ට යැවූ ලිපිවල ආරම්භයේම "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යනුවෙන් සඳහන් කර තිබේ.
                                                                        (බුහාරි 7, 2941, 4553)

එසේ හෙයින් අපද සෑම විටකදීම "බිස්මිල්ලහි රහ්මානිර් රහීම්" යනුවෙන් මුළුමනින්ම ලිවිය යුතුය.

Wednesday, June 10, 2015

මරණින් පසු ජීවිතයක් තිබේද?






මරණින් පසු තිබෙන ජීවිතය පිළිබඳව කතා කිරීමට පෙර අද අප ජීවත් වන ජීවිතය ගැන කතා කල යුතුයි. හේතුව නම් යම් දෙයක් ප්‍රථම වතාවට නිර්මාණය කිරීම දුෂ්කර වේ. මෙය බුද්ධිමතුන් පිළිගන්නා න්‍යායකි.

පරිගණකයක් ප්‍රථම වතාවට නිර්මාණය කිරීම සඳහා අවුරුදු ගණනක් අවශ්‍ය විය. නිර්මාණය කල පසු එය මෙන් දහස් ගණන් පරිගණක නිර්මාණය කිරීම පහසු විය.

අවුරුදු 100ට පෙර ඔබ මෙලොවේ සිටියේ නැත. කිසිම තැනක සිටියේ නැත. යම්කිසි වස්තුවක් ලෙසවත් සිටියේ නැත. ශුන්‍ය (කිසිම දෙයක්ව නොවී තිබුන) අවස්ථාවෙන් දෙවියන් ඔබව මැවූ බව විශ්වාස කරන මුස්ලිම්වරුන්ට නිර්මාණය කල දෑ විනාශකර නැවත නිර්මාණය කිරීමට හැකි බව විශ්වාස කිරීම පහසු වේ.

එසේම දෙවියන් පිළිබඳව මුස්ලිම් වරුන් විශ්වාස කරන විට ඔහු සර්ව බලධාරී යැයි විශ්වාස කරති. මිනිසුන් මෙන් දුර්වල කෙනෙකු ලෙස දෙවියන්ව මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ නැත.

වඳ වී ගිය දෑ නැවත නිර්මාණය කිරීම ඔබටත් ඔබ දන්නා අයටත් දුෂ්කර වේ. දෙවියන්ගේ ස්ථාවරයද මෙය නම් එවැනි දෙවියෙකු අවශ්‍ය නොවේ. අප කාටත් කිරීමට නොහැකි දේ කිරීමට ශක්තිය ඇත්තා තමයි දෙවියන් බව ඉස්ලාම් පවසන්නේ. එමනිසා මරණින් පසු ජීවිතය පිලිබඳ ප්‍රශ්නය අනවශ්‍ය එකකි.

දෙවියන් පිළබඳව තර්කානුකූල විවාදයකින් පසුව තීරණයකට එළඹුවේ නම් මරණින් පසු ජීවිතය, ස්වර්ගය, නිරය සියල්ලක්ම විශ්වාස කිරීම පහසු දෙයක් වේ.

සොහොන් ජීවිතයේ දී දඬුවම් ලැබීම යනු හැඳින්වීම සඳහා යොදාගන්නා වචනයකි. සොහොන විවෘත කර බැලුවේ නම් කිසිම මිනිසෙකු දඬුවම්  විඳීම දක්නට නොලැබේ. මෙය හරියාකාරව තේරුම් ගෙන අනික් අයට විස්තර කල යුතුය.

යහපත් පුද්ගලයන්ටත් අයහපත් පුද්ගලයන්ටත් සියල්ලන්ටම සොහොන් ජීවිතයක් තිබෙන බවයි ඉස්ලාමයේ විශ්වාසය. විශේෂයෙන්ම අයහපත් පුද්ගලයන්ට සොහොන් ජීවිතයේ දඬුවමින් බේරීමට නොහැකි බවට ඉස්ලාමයේ සාක්ෂි තිබේ.

බොහෝ අයහපත් පුද්ගලයන්  ගිනි බත් වේ. ඔවුන්ගේ අළු සෑම තැනකටම විසිරේ. ගංගා වල දිය කරනු ලබයි. මොවුන් එක් තැනක මිහිදන් කරනු ලබන්නේ නැත. රටේ බොහෝ ස්ථාන වලට මොවුන්ගේ අළු විසිරී පවතී. මොවුන්ට සොහොන් ජීවිතයක් නොමැති නිසා සොහොන් ජීවිතයේ ලැබෙන දඬුවම් ද නොමැති බව පැවසුවේ නම් , සියල්ලක් ම සොහොන් ජීවිතයේ දඬුවම අත්විඳි යනුවෙන් ඉස්ලාමයේ සඳහන් වන සාක්ෂි සියල්ලම ප්‍රතික්ෂේප වේ.

එසේම, යම් කෙනෙක්ව කැලෑ සතෙක් මරාගෙන කෑවේ නම් නැතහොත් සාගරයේ ගිලී මිය ගිය කෙනෙක්ව මත්සයන් අනුභව කලේ නම් මොවුන්ට සොහොන් ජීවිතයක් තිබේද? 

මිහිදන් කෙරුණු ස්ථානයේම - එම සොහොන තුලම දඬුවම් දීම සිදු කරයි යැයි අප විශ්වාස කලේ නම් ලෝකයේ බොහෝ මිනිසුන්ට සොහොන් ජීවිතයේ දඬුවමක් නොලැබේ.

මියගියවුන් ගේ ආත්මයන් තමන් සතුවට ගත් දෙවියන් අපට බැලීමට නොහැකී වෙනත් ලෝකයක තබා දඬුවම් කරයි ලෙස විශ්වාස කිරීම තමයි මෙහි අර්ථය විය හැක්කේ.

සමහර සොහොන් තුල දෙනු ලබන දඬුවම් නබි (සල්) තුමාණන්ට අල්ලාහ් පෙන්වා දී තිබෙන බව හදීස් වල සඳහන් වේ.  ඒවා අල්ලාහ්ගේ දූතයා යන කාරණය මත පෙන්වා දෙනු ලැබූවා යැයි සිතිය යුතුයි.

ගිනිබත් වූවන්ටත්, දියේගිලී මියගියවුන්ටත් සොහොන් ජීවිතයක් නැත යන අදහස මගහරවා ගැනීමට සොහොන් ජීවිතය පිළිබඳව තීරණය කල යුත්තේ මෙසේය.


සෑම දෙයක්ම සිදුවන්නේ දෙවියන්ගේ අභිමතය පරිදි නම් මිනිසාට දඬුවම් දීම සාධාරණ වේද ?





කර්මය (ඉරණම) විශ්වාස කිරීම නිසා මෙවැනි ප්‍රශ්න මතුවේ. කර්මය විශ්වාස නොකළේ නම් වෙනත් විදිහේ ප්‍රශ්න මතු විය හැක.

සෑම මිනිසෙකුම ජීවත්වෙන්නේ තමන්ගේ අභිමතය පරිදිය. මෙහි දෙවියන්ගේ මැදිහත් වීමක් නොමැති බව විශ්වාස කළහොත් ඉහත සඳහන් කල ප්‍රශ්නය මගහරවා ගත හැකිය. නමුත්, මේ ආකාරයෙන් බැලූවිට දෙවියන් යනු දුර්වල, කිසිදෙයක් කිරීමට නොහැකි කෙනෙකු ලෙස පෙනී යෑමට  ඉඩ තිබේ.

'සිදුවූ දෙය' , 'සිදුවෙමින් පවතින දෙය' සහ 'සිදුවීමට ඇති දෙය' සියල්ලක්ම දැන සිටීම යනු දෙවියන්ගේ ගුණාංගයකි.

හෙට දින ඔබ කොළඹ ඒමට සූදානම් වී සිටී. මෙය අද දෙවියන්ට දන්නවාදැයි ප්‍රශ්නයක් නැගූ විට 'නැත' යනුවෙන් ඔබ පැවසුවේනම් එවැන්නෙකු දෙවියෙකු ලෙස පිළිගතයුතු නැත. හෙට දින සිදුවන දෙය අද මම කෙසේ නොදනිම් ද, එසේම දෙවියන්ද නොදන්නා බව පෙනී යයි.

හෙට දින ඔබ කොළඹ එන බව අදම දෙවියන්ට දන්නවා යැයි මදකට සිතමු. සිදුවීමට යන දෙය කුමක්දැයි දෙවියන් දැන සිටීද, එය සිදුවිය යුතුමය. හෙට දින සිදුවන්නේ කුමක්දැයි දෙවියන් දනීද එය පමණයි ඔබට කල හැකි වන්නේ මිසක් ඊට අඩුවෙන් හෝ වැඩියෙන් කිසිවක් ඔබට කිරීමට නොහැකිය යන පිළිතුරත් මෙහි අඩංගු වේ.

එනම් හෙට දින සිදුවීමට ඇති දෙය දෙවියන් දනී යැයි ඔබ විශ්වාස කළහොත් කර්මය පිලිබඳ විශ්වාසයත් එහි අඩංගු වේ.

ඔහුට නොදන්නවා යැයි විශ්වාස කළහොත් එවැනි දෙවියෙකු අනවශ්‍ය බව පෙනී යයි. මෙම මත දෙකෙහිම සියුම් ගැටළු පවතී.

මෙම හේතුව නිසා නබි (සල්) තුමාණන් " කර්මය පිළිබඳව පමණක් විවාද නොකරන්න. ඔබට පෙර විසූ මිනිසුන් විනාශයට පත්වූයේ කර්මය පිලිබඳ ව විවාද කල නිසාවෙනි." යනුවෙන් පැවසුවේය. 
                                                                      මූලාශ්‍රය: (අහමද් 6381)

ඉස්ලාම් ආගමේ සංකල්ප, සිද්ධාන්ත, නීති රීති පිලිබඳ අසනු ලබන ඕනෑම ප්‍රශ්නයකට තාර්කික පිළිතුරු ඉස්ලාමයේ සඳහන් වේ. කර්මය පිලිබඳ ව පමණක් වාද විවාද කිරීම නබි (සල්) තුමාණන් තහනම් කළ බැවින් ඊට එහා කිසිවෙකුට එය විග්‍රහ කල නොහැක. එසේ විග්‍රහ කිරීමට ආරම්භ කලේ නම් ඉහත සඳහන් කල මත දෙකේ කුමක් හෝ එක මතයක ගැටළු තුල සිරවීමට සිදුවනු ඇත.

තාර්කික මෙන්ම බුද්ධිමත් සංකල්ප, සිද්ධාන්ත දහස්ගානක් ලබාදුන් දෙවියන් විසින් අපව පරීක්ෂා කිරීමට වුවද මෙවැනි දෙයක් සිදු කළා විය හැකිය.

එසේම අනිකුත් ආගම් වල කර්මය පිලිබඳ දරන අදහස් මෙන් ඉස්ලාම් ආගම කර්මය පිලිබඳ අදහස් දරන්නේ නැත.

සෑම දෙයක්ම කර්මය අනුව සිදුවේ. එම නිසා රැකියාවක් නොකරනු! ලෙඩ වුවහොත් බෙහෙත් නොකරනු! යනුවෙන් ඉස්ලාම් නොපවසයි.

එසේම සිදු වූ දේ පිළිබඳව පමණක් කර්මය විශ්වාස කරන ලෙස ඉස්ලාම් මග පෙන්වයි. සිදු නොවූ දේ පිලිබඳ කර්මයක් නොමැති නම් අප කෙසේ  කරම්ද, ඒ ආකාරයෙන් ක්‍රියා කරන ලෙස මග පෙන්වයි. එනම් උත්සහ කරන ලෙස කියයි.

එම නිසා ඉස්ලාම් පවසන ආකාරයට කර්මය විශ්වාස කළහොත් මිනිසාගේ දියුණුවට එම විශ්වාසය අබ ඇටයක තරම්වත් බාධකයක් වන්නේ නැත.

එමෙන්ම කර්මය විශ්වාස කිරීමෙන් මිනිසාට ඇතිවන යහපත් ප්‍රතිපල පිලිබඳ ව බැලුවේ නම් එම නිසා වත් කර්මය විශ්වාස කිරීම මිනිසාට යහපත ගෙන දේ.

යම් මිනිසෙකු තමන්ගේ උපරිම ශක්තිය යොදා යම් කාර්යයක නිරත වේ. එම කාර්යයෙන් ඔහු පරාජය වුවා යැයි සිතමු.

කර්මය විශ්වාස කරන්නා "අපි කෙතරම් උත්සහ කලත් දෙවියන්ගේ තීරණයකුත් තිබෙනවා නොවේද" යැයි පවසා පසු දිනයේදීම සාමාන්‍ය තත්වයට පත්වෙයි.

ඔහු කර්මය විශ්වාස නොකරන්නෙක් ලෙස සිතමු. "කෙතරම් උත්සහ කරලත් එම කාර්යය ඉටු වුයේ නැත" යනුවෙන් සිතමින්ම ඔහු මානසික අසහනයකට ගොදුරු වේ. මෙසේ නොවුනත් ඔහු පියවි තත්වයට පත්වීම මදක් දුෂ්කර වෙයි.

ඔබගෙන්  වැරදී ගිය දෙය ගැන ඔබ දුක් නොවී සිටීමටද, (අල්ලාහ්) ඔබට ලබා දුන් දෙය ගැන ඔබ උඩඟු නොවී සිටීමටද, (මෙය ඔබට දැනුම් දෙන්නේය). අල්ලාහ් උඩඟු වී  ආඩම්බර බස් දොඩන්නන් සියල්ලන්වම ප්‍රිය කරන්නේ නැත. (අල්-කුර්ආන්  57:23). 

කර්මය විශ්වාස කිරීමෙන් යහපත් ප්‍රතිපල දෙකක්ම අත්වන බව ඉහත වැකියෙන් අල්ලාහ් පවසයි. අපට මිල මුදල් , දේපල , වස්තූන් අල්ලාහ් විශාල වශයෙන් ලබා දුන්නේ නම් ආඩම්බරකමක් , උඩඟු බවක් ඇතිවේ.

කර්මය විශ්වාස කිරීම නිසා මෙම මානසික අසහනයෙන් මිදිය හැක.

මෙම දේපල , වස්තූන් සියල්ලක්ම අපට ලැබුනේ අල්ලාහ්ගේ කර්මයට අනුකූලව මිසක් අපගේ මැදිහත් වීමකින් නොවේ, යනුවෙන් සිතූ විට ආඩම්බරකම හා උඩඟුකම උන් හිටි තැනින් අතුරුදහන් වේ.

එසේම දරාගැනීමට නොහැකි, අසීරු ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවුයේ නම් අපගේ සිත සසල වේ. දවස් ගණන් මෙන්ම සමහරක් විට මාස ගණන් ද අපට වෙන කිසිම කාර්යයක නිරත වීමට නොහැකි ලෙස මනස ව්‍යාකූල වෙයි. මෙම මානසික අසහනයද කර්මය පිළිබඳව විශ්වාස කිරීම මගින් නැතිවේ.

"අපට කල හැක්කේ කුමක්ද? අල්ලාහ්ගේ තීරණය එපමණයි" යනුවෙන් සිතූවිට ඉතා ඉක්මනින් ඔහුට සාමාන්‍ය තත්වයට පත්විය හැකිය.

ඉහත සඳහන් කල යහපත් ප්‍රතිපලවල් දෙකම කර්මය විශ්වාස කිරීම මගින් මිනිසාට අත්වන බව ඉහත වැකියෙන් අල්ලාහ් පවසයි.

සමහරුන් "සියල්ලක්ම සිදුවන්නේ කර්මයට අනුකූලවයි" යැයි පවසා නැමදුම් කිරීම අතපසු කරයි. "අප යහපත් පුද්ගලයන් වෙයි" යැයි කර්මයේ සඳහන් වේ නම් අප උත්සහ නොකරම යහපත් පුද්ගලයන් වෙයි.එසේම "අපි අයහපත් පුද්ගලයන් යැයි" කර්මයේ ලියවී තිබේ නම් අප උත්සහ කිරීමෙන් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව සිතයි.

කර්මය විශ්වාස කල යුතුයි යනුවෙන් පවසන දෙවියන් ම උත්සහ කරන ලෙසත් පවසා ඇති බව ඔවුන් අමතක කරයි. එසේම ඔහු සත්‍යවශයෙන්ම නැමදුම් නොකර සිටින්නේ කර්මයට අනුකූලව නම් ඔහු සෑම දෙයක් පිළිබඳව ම මෙවැනි පිළිවෙතක් ගත යුතුයි.

කෙනෙක් යහපත් පුද්ගලයෙක් වෙයිද? අයහපත් පුද්ගලයෙක් වෙයිද? යන්න පමණක් කර්මයේ සඳහන් නොවේ. මෙලොවේ කෙනෙකුට ලැබෙන මුදල්, වස්තූන්, තනතුරු මෙන්ම දුක, ප්‍රශ්න සියල්ලක්ම ලැබෙනුයේ කර්මයට අදාලව බවයි ඉස්ලාම් පවසන්නේ.

නැමදුම් නොකිරීමට හේතුව කර්මය බව පවසන පුද්ගලයා මුදල් සම්බන්ධයෙන්ද ගත යුත්තේ එවැනි ක්‍රියා පිළිවෙතක් නොවේද?

තමන්ට කර්මයට අනුව මුදල් කීයක් ලැබීමට තිබේද, එය ඒ අනුව තමන්ට ලැබේ යැයි සිතා ඔහු කරන රැකියාවෙන් අස්වෙන්නේ නැත.නමුත් මුදල් සොයා යයි. සෙවීමට උත්සහ කරයි. මෙම පිළිවෙත නැමදුම් කිරීම කෙරෙහිත් බලපාන බව සිතන්නේ නැතිවීම ඔහුගේ දෙබිඩි පිළිවෙත පෙන්නුම් කරයි.

එමනිසා, කර්මය පිලිබඳ වාද විවාද නොකර, මිනිසුන්ට නොතේරෙන  දේවල්ද අල්ලාහ් තබා ඇත යනුවෙන් තීරණය කර, කර්මය විශ්වාස කිරීමෙන් ඇතිවෙන යහපත් ප්‍රතිපල  ගැන සිතා කර්මය විශ්වාස කිරීම මිනිසාට යහපත ගෙන දේ.


ඒක දේව වාදය යනු කුමක්ද?


බොහෝ මිනිසුන් ජීවත් වන්නන්ව නමදීයි. මියගියවුන්ව නමදීයි. ප්‍රාණයක් නොමැති දේවල්ද නමදීයි. මෙවැනි සිදුවීම් අද ලෝකයේ කොතෙකුත් දක්නට ලැබේ.

පැහැදිලිවම බහු දේවවාදය ලොවට කියාපාන ආගම් අප දකින්නෙමු.

1. නිර්මාණය කරන්නට දෙවියෙක්.
2. විනාශ කරන්නට දෙවියෙක්.
3. ආරක්‍ෂාවට දෙවියෙක්.
4. ප්‍රශ්නවලට විසඳුම් දීමට දෙවියෙක්.
5. සතුට ලබාදීමට දෙවියෙක්.
6. වැසි වැස්සවීමට වෙනම දෙවියෙක්.
7.  ආහාර ලබාදීමට වෙනත් දෙවියෙක්.
8. දැනුම සඳහා තවත් දෙවියෙක් ලෙස බොහෝ දෙවිවරුන් සිටින බව මිනිසුන් විශ්වාස කරති.


යමෙක්ව මරණයට පත්කිරීමට විනාශකිරීම සඳහා සිටින දෙවියන් විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී , ආරක්‍ෂාව සඳහා සිටින දෙවියන් විසින් මෙම මිනිසාව ආරක්‍ෂා කිරීම සඳහා ක්‍රියාකළේ නම් සිදුවන්නේ කුමක්ද? ඔහු මියයයිද? ආරක්ෂා වෙයිද?

ඉහත සඳහන් කල  දෙකෙන් කුමක් සිදුවූවත් අනිවාර්යයෙන්ම එක් දෙවියෙකු පරාජයට පත්වේ. පරාජයට පත්වන්නා දෙවියකු විය හැකිද? තමන් සිතූදෙය කිරීමට ශක්තිය නොලද්දා තමන් දෙවියකු ලෙස හැඳින්වීමට ඇති සුදුසුකම කුමක්ද?

දෙමල භාෂාව කතා කරන්නන්ටත් සිංහල භාෂාව කතා කරන්නන්ටත් නැතිනම් ශ්‍රී ලංකානුවන්ටත් අරාබියානුවන්ටත් නැතිනම් කුරෛෂි වරුන්ටත් හබෂි වරුන්ටත් යම්කිසි ගැටළුවක් පැන නැගී ඔවුනොවුන් ඔවුනොවුන්ගේ දෙවිවරුන්ගෙන් උදව් උපකාර පැතුවේනම්, දෙපාර්ශ්වයේම දෙවිවරුන් ඔවුනොවුන්ගේ භක්තිකයන්ට උදව් කිරීමට පැමිනියේනම් සිදුවනුයේ කුමක්ද? දෙපාර්ශ්වයේම කව්රු පරාජය වූවත් පරාජය වන්නේ දෙවියන් නොවේද?

මෙම පෘතුවියත්, අනිකුත් ග්‍රහ වස්තූන් සියල්ලත්, මහා අභ්‍යවකාශයත්, ඒවායේ පහල කර ඇති හාශ්චර්යයන් දෙසත් අප බලන්නෙමු. මේවායේ ක්‍රියාවලිය එකම දිශාවටත් පිළිවෙලටත් සිදුවන ආකාරයත් අප බලන්නෙමු.

අවුරුදු දහසකින් පසුව එන ජනවාරි මාසයේ 7වන දින සූර්යයා උදාවන වෙලාව හා බැසයන වෙලාව අපට මේ මොහොතේම ගණන් සාදා කිවහැක. ගණන් බලා කිවහැකි ආකාරයට සූර්යයා හා පෘතුවිය ක්‍රමවත්ව ගමන් කරන බව මෙයින් අපට වටහා ගත හැකිය.

කවදා හෝ සිදුවන සූර්ය, චන්ද්‍ර ග්‍රහණ අපට දැන්ම දැනගත හැකිය.කුමන ප්‍රදේශයේ කෙතරම් වේලාවක් ග්‍රහණය තිබේද? කුමන ප්‍රදේශයේ සම්පූර්ණ  ග්‍රහණයක් තිබේද යන්න පැවසීමට හැකිය.

බොහෝ දෙවිවරුන් සිටියහොත් මෙම ග්‍රහවස්තූන්ට මෙතරම් ක්‍රමවත්ව ක්‍රියාකල නොහැක. එකම කෙනෙකුගේ එකම තීරණයක් මත ක්‍රියාකරන හේතුව මත පමණයි ග්‍රහවස්තූන් එකිනෙකට නොගැටී සිටින්නේ.

මෙවැනි පරිශුද්ධවන්ත ඒක දේවවාදය පිළිබඳව ඉස්ලාම් පවසයි.

ඒක දේවවාදය යන සංකල්පය අතීතයේ පටන් අද දක්වා බොහෝ අය විසින් ප්‍රචාරය කරන ලදී. නමුත් පසුකාලීනව ඔවුන් දෙවිවරුන් ලෙස හඳුන්වා දෙනු ලැබින. ඒක දේවවාදය ප්‍රචාරය කලවුන්ගේ නමින්ම ඒක දේවවාදී සංකල්පය මිහිදන් කෙරුනී.

එසේම අපගේ අවසන් නබිවරයා වන මුහම්මද් නබි (සල්) තුමාණන්ද ප්‍රචාරය කලේ ඒක දේවවාදයයි.

එතුමාණන් අභාවයට පත්වී අවුරුදු 1400ක් ගතවූ නමුත් අදටත් එතුමාණන් දෙවියකු ලෙස හඳුන්වනු නොලැබේ.

නබිතුමානන්ට ප්‍රතිමා සාදනු ලැබුවේද නැත. එතුමාණන්ව මුස්ලිම්වරු නමදින්නේද නැත.

නබිතුමානන් කෙරෙහි අසීමිත ආදරයක් තැබුවත් එහි සීමාව මුස්ලිම්වරුන් හරියාකාරව දැන සිටී. මිනිසින්ගෙන් ඉතා ශ්‍රේෂ්ටතම මිනිසා යන්නයි එම සීමාව. මීට අමතරව සීමාව ඉක්මවා නබිතුමානන්ව දෙවියන්ට සමකරන්නේ නැත.

ඉස්ලාම් ආගමේ ඒක දේවවාදී සංකල්පය අභාවයට නොයා දීප්තිමත්ව බැබලීමට හේතුව මෙයයි.

මෙසේ පැහැදිලි ඒක දේවවාදී සංකල්පයක් වෙනත් කිසිම ආගමක දක්නට නොලැබේ.